Rashan Hasaranga
Rashan Hasaranga's Official Website > Blog > මහා සයිටම් කතා වස්තුව

මහා සයිටම් කතා වස්තුව

ඔන්න අහවල් රටක, අහවල් ගමක අවුරුදු උත්සවයක් පවත්වනවලු. (අහවල් රටත් සිරි ලංකාවම නොවැ, නැතුව ඉතින් වෙන රටවල්වල අවුරුදු උත්සව තියන එකක්යැ..) දැන් හැමෝම වගේ මේකෙන් මොකක්හරි තරගයක් දිනලා තෑග්ගක් ගන්නලු ෆුල් ට්‍රයි එක දෙන්නේ.. මේ අවුරුදු උත්සවේ තියෙන තරගවලින් කාගේත් වගේ වැඩිපුර ඇහැගැටෙන තරගයක් තමයි දෙහි ගෙඩිය හැන්ද මත තබාගෙන යෑම කියන්නේ..
ඔන්න ඉතින් දැන් තරගෙට ඉදිරිපත් වෙන හැම පොඩි එකාගෙම කටේ හැන්දක් ගහලා ඒක උඩින් දෙහි ගෙඩියක් තියලා තියෙනවලු.. මේ දෙහි ගෙඩිය හැන්ද උඩ තියාගෙන යන තරගෙට ඉදිපත් වෙන පොඩි එවුන් හැම එකාම වගේ හොදට පුහුණු වීම් එහෙම කරලා ගානට සෙන්ටිමෙන්ටල් වෙලාලු ඉන්නේ දෙන්නම් වැඩේ කියලා.. ඔන්න දැන් තරගේ පටන්ගත්තලු.. තරගෙට ඉදිරිපත් වුනු එවුන් ටික දත විකාගෙන තරග කරන අතරේ උන්ගේ අම්මලා තාත්තලා දෙපැත්තේ ඉදගෙන චියර් පාර දෙනවලු සැරටම.. අල්ලපු ගම්වල උදවිය පවා ඇවිල්ලා කට ඇරගෙන බලාගෙන ඉන්නවලු කවුද කප් එක උස්සන වාසනාවන්තයා කියලා.. සමහරු තමන්ගේ ට්‍රැක් එකෙන් ටිකක් එහාට ගිහිල්ලා හිමින් හිමින් තනියම දෙහි ගෙඩිය බැලන්ස් කරගෙන දිණුම් කණුව තියෙන පැත්තට එනවලු.. තව සමහරු හැන්ද කටේ තියාගෙන වේගෙන් දුවන්න ගිහිල්ලා දෙහි ගෙඩිය බිම වට්ටගන්නවලු.. තව සමහර එවුන් අනිත් එකාගේ දෙහි ගෙඩියත් බිම පෙරලගෙන ඌ එක්කම බිම ඇදගෙන වැටෙනවලු.. අන්තිමට දක්ෂ එකා කොහොමහරි දෙහි ගෙඩියයි හැන්දයි දෙකම බැලන්ස් කරගෙන දිනුම් කණුව ගාවටම එනවලු..
එතකොට පැරදුනු එවුන්..? පැරදුනු එවුන් කල්පනා කරාලු මේක හරියන්නේ නෑ, නෑදෑ සනුහරේම බලාගෙනත් ඉන්නවනේ විලි ලැජ්ජාවයි.. අපි තනියම තරගයක් සංවිධානය කරලා, අපිම ඒකට සහභාගී වෙලා, අපිම ඒ තරගෙන් කප් එකත් ගමු කියලා මේ සෙට් එක කතා කරගත්තලු.. හැම එකාටම වෙනවෙනම කප් එකක් හදවන්නත් ඕන නිසාත්, ඉස්සෙල්ලා අවුරුදු උත්සවේ සංවිධායක මණ්ඩලේ අලුත් එකේ වැඩේ දිහා බලාගේත් ඉන්න නිසාත් ඉදිරිපත් වෙන අයගෙන් ඉස්සෙල්ලා සල්ලි ටිකක් අරගෙනලු අලුත් තරගෙට කස්ටිය බදවාගත්තේ..
මේකේ දෙහි ගෙඩියක හැන්ද උඩ තියාගෙන ගියොත් කප් එක සුවර් එකට හම්බෙනවා.. දෙහි ගෙඩිය මගදී බිම වැටුනොත්…. ඒත් කප් එක සුවර්… දෙහි ගෙඩියක් වෙනුවට අබ ඇටයක් හැන්ද උඩ තියාගෙන ගියොත්… ඒකත් අවුලක් නෑ.. කොටින්ම කිව්වොත් දෙහි ගෙඩියක් දැකලා නැති එකෙක් සල්ලි දීලා තරගෙට ඇතුලත් වුනොත් ඌටත් කප් එක සුවර් ඒකටම හම්බෙනවලු.. මේ තරගෙන් පැරදුනු එකෙක් ගැන මෙතෙක් කාටවත් අහන්න ලැබිලත් නැතිලු.. කොහොම කරත් අන්තිමට කප් එක අතටම හම්බෙන හින්දා සායම බේරගන්නත් එක්ක හැම සල්ලිකාරයම සල්ලි දීලා අර තරගෙට ඇතුලත් වෙන්නත් දෙපාරක් හිතුවේ නැතිලු.. වියදම් කරන්න සල්ලි නැති අහිංසක ළමයි ටික ඊලග අවුරුද්දෙවත් තරගේ දිනන්න උත්සාහ කරනවා කියලා හිතාගෙන ගෙදර ගිහින් තව පුහුණුවීම් කරනවලු..
දැන් ඔන්න එළියේ ඉන්න ඈයෝන්ට පේන්න තරග ටික එහෙම ඇතුලේ ජයටම තියලා, හැම එකාටම කප් එක ගානේ හදවලා, බලාගෙන ඉන්න මිනිස්සුන්ට පේන්න පොඩි ඇඩ් පාරකුත් දාලා කිරුළු පලන්දනවලු.. වැඩේ ශේප්.. ඒත් පොඩි කොස්සකට තියෙන්නේ මේ තරගෙන් දින්නහම ලැබෙන කප් එකට කලින් තරගෙන් දින්නහම ලැබෙන කප් එක තරම් පිළිගැනීමක් නැතිලු.. ඒකට මොකෑ කරන්නේ.. කලින් අවුරුදු උත්සවෙන් දිනපු එකෙක්ගේ කප් එකක් සල්ලිවලට ගත්තලු, ඒක බලාගෙන අලුත් අවුරුදු උත්සවෙටත් කප් එකක් හැදුවලු.. දැන් කප් එක දිහා බැලුවහම කාටවත් අදුරගන්න බැරිලු මේක ඉස්සෙල්ලා අවුරුදු උත්සවෙන් දිනපු සැබෑ දක්ෂයෙක්ගේ කප් එකක්ද, නැත්නම් සල්ලි දීලා ලගටම ගෙන්නගතපු කප් එකක්ද කියලා.. ඒ වුනාට ටිකක්හරි මොලයක් තියෙන මිනිස්සුන්ට තේරෙනවලු සල්ලි දීලා වෙන් කරවත්ත කප් එක, අනිත් කප් එක තරම් කොලිටියක් නෑ කියලා..

ඔන්න ඕකලු සයිටම් කතා වස්තුව… මේ අතරේ තව කට්ටියක් ඉන්නවලු ” අපිට ඔය අවුරුදු උත්සවවලින් වැඩක් තියෙද, අපි හම්බකරගත්තොත් අපි කනවා.. තරගවලින් දිනන එකෙක්වත් අපිට කන්න බොන්න දෙන්නේ නෑ”යැ කියාගෙන.. ඒ වුනාට උනුත් ගැබ්බර වුනු කාලෙකට එහෙම යන්න වෙන්නේ කප් එක තියෙන එකෙක් ගාවටමලු.. ඒ වගේ දවසට විතරක් උන් හොයනවලු මේක ඇත්ත කප් එකක්ද, නැත්නම් සල්ලි දාලා දාලා පිටින් විතරක් ලස්සන කරපු හොර කප් එකක්ද කියලා..
හැක හැක…

-රෂාන් හසරංග

Rashan Hasaranga

Posted on 20th July 2018
69 views