Rashan Hasaranga
Rashan Hasaranga's Official Website > Blog > සුනාමි අවස්ථාවක කටයුතු කළයුතු ආකාරය

සුනාමි අවස්ථාවක කටයුතු කළයුතු ආකාරය

2004 අඳුරු මතකයත් එක්ක නැවතත් ඒ වගේ විපතක් කිසිම රටකට නොවේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඒ වගේ හදිසි අවස්තාවක කටයුතු කරන්න ඕන ගැන මතක් කරන්නම්. ???????? එදා මුහුද ටික ටික ඈතට යනකොට වෙරළේ වැලි අස්සේ දගලපු මාළු අහුලන්නයි, තමන්ගේ වැට තව ටිකක් මුහුද පැත්තට කරලා ගහගන්නයි දගලපු වෙලාවේ මේ කරුණු ටික මිනිස්සු දැනගෙන හිටියා නම් ඒ මිනිස් ජීවිත කීයක් නම් අදටත් ජීවත් වෙනවා ඇති ද? ????
 

 

===============
සුනාමි ඇති වීමට පෙර පරිසරයේ ඇතිවන වෙනස්කම්
===============
 
01. තප්පර 20කට වඩා වැඩි කාලයක් එක දිගට පොලොව දෙදරීමට ලක්වෙන්න පුළුවන්..
02. මුහුදු වෙරල සීමාවේ ජල මට්ටම අධික ලෙස අඩු වෙලා මුහුදු වෙරළෙ කළු පාට වැල්ලක් උඩට මතු වෙන්න පුළුවන්..
03. මේ වගේ වෙලාවට එදිනෙදා මුහුදේ අපට අහුනොවෙන වෙනත් වර්ගවල මාළු වෙරළට එනවා.. ????
04. මුහුදට ආසන්නයෙන් තියෙන උල්පත් වලින් හිටිහැටියේ අසාමාන්‍ය ලෙස ජලය මතු වෙන්න පුළුවන්..
05. මුහුදෙන් අසාමාන්‍ය ලෙස ගෙරවන හඩක් ඇහෙන්න පුළුවන්(ජෙට් එකක්/ කෝච්චියක් යනවා වගේ.. ????)
 
සහ මෙතන තියෙන වෙනස්කම් වලින් මොනවහරි දෙයක් වෙනවා නම් රජයෙන් නිවේදන දෙනකන් බලාගෙන ඉන්නේ නැතිව පුළුවන් තරම් ඉක්මනට ක්‍රියාත්මක වෙන්න..
සූදානම් වෙන්න
 
06. ඒ වෙලාවේ තමන් ඉන්න තැන සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කරලා තියෙන ප්‍රදේශයක්ද කියලා තහවුරු කරගන්න.. (මුහුදට ලගම ප්‍රදේශයක ඉන්නවා නම් අනතුරු ඇගවීම් එනකන් ඉන්න ඕන නෑ, ජීවිතේට ආදරේ නම් තමන්ගේ ගෙවල් දොරවල් දාලා දුවන්න ලෑස්ති වෙන්ඩ ???? )
07. එතන මුහුදු මට්ටමෙන් උඩ තියෙන තැනක්ද, පහත් තැනක්ද කියලා හරියට අවබෝධ කරගන්න..
08. තමන් ඉන්නේ අවධානම් කලාපයක නම්, ඊලගට තමන්ට ලගම තියෙන උසම තැනට යන්න ගැලපෙනම මාර්ගය කල්පනා කරන්න.. “ගැලපෙන මාර්ගය” කියලා කිව්වේ මුහුදෙන් ඈත පිහිටි පාරකින් උස් ස්ථානයට ගමන් කරන්න තියෙන ආර්ක්ශාකාරීම/ කෙටිම මාර්ගය.
 
[අමතර දැනුමට :- සුනාමි වෙලාවක මුහුදු රළ අඩි 100ක් (මීටර් 30ක්) විතර උසට එන්න පුළුවන්.. ඒ වගේම මුහුදු වෙරළ සීමාවේ ඉදන් කිලෝ මීටර් 3ක් වගේ දුරට සුනාමි රළ බලපැවැත්වෙන්න ඉඩකඩ තියනවා.. ???? ]
 
09. ඒ වෙලාවේ තමන්ගේ හිතවතුන් ඉන්නේ මොන වගේ තැන්වලද කියලා කල්පනා කරන්න..
• උදා:- තමන්ගේ ළමයා පාසල තුල ඉන්නවා නම් එතන ළමයට ආරක්ෂාකාරියි ද කියලා කල්පනා කරන්න.. පාසලේ උස ගොඩනැගිලි එහෙම තියෙනව නම් ළමයා ඔක්කොටොම කලින් ලමයව අරගන්න යන්න ලැස්ති වෙන්න එපා.. ???? එහෙම වුනොත් වෙන්නේ සුනාමි රළ ගොඩට එන වෙලාව වෙනකොට තමන් පාරේ traffic එකට අහුවෙලා ඉදිද්දිම මුහුදට බිලි වෙන එක.. තමන්ගේ කවුරුහරි කෙනෙක් ආරක්ෂාකාරී නෑ කියලා හිතෙනවා නම් ඉක්මනින් එයාට දැනුම් දෙන්න (mobile phone එකකින් වගේ). තමනුත් එතනට යා යුතුමයි කියල හිතෙනවා නම් මෝටර් බයිසිකල් වගේ පොඩි වාහනයකින් එතනට යන්න.. ඒ වෙලාවට ලොකු වාහන අරගෙන ගිහින් පාරේ හරස් කරන්න එපා.. ????
10. මුහුද අයිනේ ජීවත් වෙන කෙනෙක් නම් තමන්ගේ නිවෙස්වල අනිවාර්යෙන්ම හදිසි අවස්තාවක අවශ්‍ය වෙන භාණ්ඩ ටික දාලා හදාගත්තු පෙට්ටියක් තියෙනවා ඇතිනේ..? අර first-aid ටිකයි, වියලි ආහාර ටිකයි දාලා හදාගතපු එක.. අන්න ඒකත් අරගෙන, තමන්ගේ පවුලේ අයත් අරගෙන පුළුවන් තරම් ඉක්මනට උස ස්ථානවලට යන්න..
11. අතරමගදී හම්බවෙන මිනිස්සුන්වත් පුළුවන් විදියට දැනුවත් කරන්න සුනාමි තත්වය ගැන..
12. මිනිස්සු වගේම අපි සුරතලේට ඇති කරන සතුනුත් ජීවිත් වෙන්න ඕන.. මේ වගේ වෙලාවක සුරතල් සතුන්වත් අරගෙන උස් ස්ථානවලට යන්න.. ???? එහෙම අරගෙන යන්න බෑ කියලා හිතෙනවා නම් උන්ව කූඩු වලින් ලියහා එලියට දාන්න.. එතකොට උන් තමන්ගේ ආරක්ෂාව හදාගන්නවා (බල්ලොන්ට, පූසොන්ට වගේ සතුන්ට පුළුවනි භූමිකම්පාවක් කල් තියා අදුරගන්න.. එතකොට උන් පුළුවන් තරම් රට ඇතුලට යනවා. 2004 සුනාමියෙනුත් යාල වනොද්යානේ හිටපු එක සතෙක්වත් මරුනේ නෑ කියන්නේ අන්න ඒ හේතුව නිසා..)
11. බෝට්ටුවකින් මුහුදේ ඉන්නවා නම් බෝට්ටුව ගොඩබිම දෙසට අරගෙන එන්නේ නැතුව පුළුවන් තරම් දියඹ දෙසට බෝට්ටුව පදවන්න..
 
===============
සුනාමි අවස්ථාවේදී
===============
 
මේ වගේ වෙලාවක ඉස්සෙල්ලම හිතන්න තමන්ව ආරක්ෂා කරනගන්න එක තමයි වැදගත්ම දේ කියලා.. හේතුව, සුනාමි අවස්ථාවල වැඩිපුරම ජීවිත අහිමි වෙන්නේ තමන්ගේ දිවි පරදුවට තියලා වෙන අයව බේරගන්න ඉදිරිපත් වෙන අය හින්දා..
 
01. භූමිකම්පා තත්වය ඉවරවෙලා විනාඩි 5-10 අතර කාලයක් ඇතුලට සුනාමිය ගොඩබිමට එනවා.. ඒ වෙනකොට තමන් පවුලේ අයත් එක්ක උස තැනිතලාවකට ලගා වෙලා තියෙන්න ඕන..
02. ලොකු ගල්, පාලම්, ලයිට් කණු වගේ ඒවා තියෙනවා නම් ඒ තැන්වලින් ඉවත් වෙන්න..
03. පුළුවන් විදියකට රජයේ මාධ්‍ය නිවේදන වලට සම්බන්ද වෙන්න.. (දැන් හැමෝගෙම වගේ ජංගම දුරකතනවල radio එහෙම තියෙනවනේ, ඒවා භාවිතා කරලා අනතුරු ඇගවීම් ගැන අවධානයෙන් ඉන්න..)
04. මී හරක් වගේ මුහුද ගොඩගලන එක බලන්න මුහුද පැත්තට දුවගෙන යන්න එපා.. (මාත් එහෙම කරපු මී හරකෙක්, තාම ජීවතුන් අතර හිටියට ???? ) මුහුදු රළ තමන්ගේ ඇස් දෙකෙන් දැක්කොත් ඒක තමයි තමන්ට ගැලවෙන්න තියෙන අන්තිම තප්පර කිහිපය වෙන්නේ.. නැත්නම් තමුන් ජීවත් වෙලා ඉන්න අන්තිම තප්පර කිහිපය වෙන්නත් පුළුවන්..
05. තමන් මුහුදු වතුරේ පාවෙනවා නම් ඒ වෙලාවට පීනන්න උත්සහ කරන්න එපා (තමුන් කොච්චර පිහිනීම් ශූරයෙක් වුනත් මේ වගේ වෙලාවක පීනන්න එපා) වතුරේ පාවෙලා යන දෙයක් අල්ලාගෙන ඉන්න විතරක් උත්සහ කරන්න..
06. එහෙම ගිහින් ස්ථාවර දෙයක් (ගොඩනැගිල්ලක්, ශක්තිමත් කණුවක්) වගේ තැනකදී ඉක්මනට ඒක බදාගන්න.. ඊට පස්සේ බදාගෙනම ඉන්න වතුර බැහැලා යනකන්.. ????
 
===============
පස්සේ..
===============
 
01. දිගින් දිගටම radio වලට සවන්දෙන්න. සුනාමි ඇවිත් ඉවරයි වගේ දැනුනත් සමහර විට තවත් රැල්ලක් මග එනවා වෙන්නත් පුළුවන්. ඒ නිසා අවධානම ඉවරවෙනකන් ආරක්ෂාකාරී තැනට වෙලාම ඉන්න..
02. තමන්ගේ ප්‍රදේශය භාර නිලධාරීන් ඇවිල්ලා ආරක්ෂාව තහවුරු කරනකන් නිවෙස් වලට යන්න එපා.. ????
03. තමන්ගේ ඇගේ පොඩි හරි සීරීමක්වත් වෙලා තියෙනවා නම් first aid පාවිච්චි කරන්න.. ඊට පස්සේ අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙක් මුණගැහෙන්න.. සුනාමි රළට ගහගෙන එන්නේ ජරාව ගොඩක්.. ඕකෙන් මොන මොන ලෙඩ ඇගට ඒවිද කියන්න බෑනේ..
04. කවුරුහරි කෙනෙක් බේරගන්න උදව් අවශ්‍ය වෙනවා නම් ප්‍රවීනයෙක්ට කතා කරන්න.. තමන් ඒ සඳහා ඉදිරිපත් වෙන්න එපා.. ඒකට හේතුව කලින් කියලා ඇති.. ????
05. තමන්ගේ අසල වැඩිහිටි අය, ගර්භනී කාන්තාවෝ, කුඩා ළමයි එහෙම ඉන්නවා නම් ඒ අයට උදව් කරන්න පුළුවන් විදියට..
06. Emergency calls වලට විතරක් පෝන් පාවිච්චි කරන්න. (සාමාන්යෙන් සුනාමි අවස්ථාවකදී දුරකථන සම්බන්ධතා බිඳ වැටෙනවා.. ඒත් ජංගම දුරකථන නම් බොහෝ දුරට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒත් 2004 සුනාමියේදී නම් දවස් කීපයක් යනකන් අපේ ජංගම දුරකථන වැඩ කරෙත් නැහැ.. ???? උත්සාහ කරලා බලන්න..)
07. තමන් දැන් ඉන්න ගොඩනැගිල්ල සුනාමි වතුරට අහුවුණා නම් වතුර්ර ඉවරවුනාට පස්සේ ඒකෙන් එලියට එන්න.. මුහුදු වතුර නිසා ගොඩනැගිල්ල පෙගිලා තිබ්බොත් ගොඩනැගිල්ල කඩා වැටෙන්න පුළුවන්..
08. ලයිට් කණු , ටෙලිපොන් කණු වගේ ඒවායේ කරන්ට් එක තියෙන්න පුළුවන්. ඒ නිසා ඒවායින් ඈත් වෙන්න.. කුඩා ළමුන් ඒවායින් ඈත් කරලා තමන්ගේ ඇස ගැටෙන මානයේ තියාගන්න.. ඒ වගේම සුරතල් සතුනුත්..
09. සුනාමියට අහුවුණු ප්‍රදේශවල තියෙන මොනම ආකාරයේ ජල සැපයුමක්වත් පාවිච්චි කරන්න එපා.. විපතට පත් වුනු අයට පානීය ජලය ලබා දෙනකන් ඉවසගෙන ඉන්න..
10. රජයේ මැදිහත් වීමක් ඇතිව හෝ තොරව අවතැන් වූවන්ට පුළුවන් තරමින් උපකාර කරන්න.. මේ වගේ වෙලාවට ඒ අයට අත්‍යවශ්‍ය දේවල් වෙන්නේ වියලි ආහාර, වේදනා නාශක පෙති සහ ඇදුම්.. ඊට අමතරව වයසක අවශ්‍ය දේවල් අරගෙන යන්න.. ඒ වගේම ගැහැණු ළමයින්ට කටක්ඇරලා කාගෙන්වත් ඉල්ලන්න බැරි දේවල් තියෙනවා.. ඒ අයටත් අවශ්‍ය දේවල් අරගෙන යන්න.. ????
 
===============
ඔයාලට මේ මතක් කිරීම කරනගමන් 2004 සුනාමි නිසා මිය ගියපු හැමෝටම මම ආගම් බේදයකින් තොරව “නිවන් සුව” ප්‍රාර්ථනා කරනවා.. නැවතත් මෙවන් වගේ විපතක් කිසිම කලකදී සිදු නොවේවා..! ????????
===============
 
| සටහන: Rashan Hasaranga |

Rashan Hasaranga

Posted on 20th July 2018
86 views