Rashan Hasaranga
Rashan Hasaranga's Official Website > Blog > රසියගේ පලවෙනි ලවු එක

රසියගේ පලවෙනි ලවු එක

මේ දවස්වල රසියට හුස්මගන්නවත් නිදහසක් නෑ, වැඩ වැඩ වැඩ.. වැඩ කිව්වට ඉතින් ගෙදර එවුන්ට නම් පෙන්නේ හැම වෙලාවේම පෝන් එකට කොට කොට ඉන්න ඒවා විතරයිනේ. ඒ කොහොමහරි, හැමදාම එකම ඩෙනිම්කොටේ අපුල්ලන්න බැරි නිසා අද වෙනසකටත් එක්ක පොඩ්ඩක් ටවුම පැත්තට බඩගෑවා ඇදුම් කෑලි මොනවහරි අරගෙන එන්න කියලා හිතාන. රසියත් ඉතින් තනිකඩයා වුනාට ලස්සනට ඇදලා පැළදලා ඉන්න ඕනෑය කියන එක හිතෙනවා නොවැ.. ඒ කෙසේවෙතත් ඌට නහයක් කියලා දේකුත් තියෙනවනේ.. ඉතින් මූ ඉස්සෙල්ලාම ගියේ අර අලුතින් දාපු ඩ්‍රෙස්මෝ කියන රෙදි කඩේ පැත්තට.. හම්මේ ඒක බලන්න එපෑයෑ, ඇතුලේ පාට පාට ලයිට් දාලා නිකන් තොටළග තොරණ වගේ එලියට පෙන්නේ.. රසියටත් ඉතින් ඔය ඕන මගුලක් එකයිනේ.. ඌ ඩ්‍රෙස්මෝ එකට යනගමන් පාර අයිනේ තියෙන පොඩි කඩ කෑල්ලකට ගොඩවෙලා හම්පඩ ඩෙනිමක් අරගත්තලු.. ඊට පස්සේ සුපුරුදු පරිදි ඩ්‍රෙස්මෝ එක ඉස්සරහින් තියෙන පාර දිගේ ඇවිල්ලා රාජධානි එක්ස්ප්‍රස් එකට ගොඩවුනේ රසියගේ රාජධානිය සැපත්වෙන්න හිතාගෙනලු.. බස් එකේ දාල තිබ්බ සින්දුවත් රසියටම ගැලපෙන එකක්ලු..

“ආර්ථිකේ හරි දරුණුයි
අපෙ අතමිට දැන් නම් Full සුද්දයි  ”

මොඩිෆයි කරපු දඹානේ වැද්දෙක්ගේ වගේ මෝඩපහේ පෙනුමක් තිබ්බට රසියත් තාම පොඩි එකා වගේ ආසකරන්නේ බස් එකේ ජනේලේ ලග සීට් එකේ වාඩිවෙලා යන්නලු.. ඔහොම හුළං පාරක් වැදී වැදී සපාන් එකේ සින්දුවක් අහහා ජීවිතේ ගැන කල්පනා කර කර යනකොට ටුයුෂන් හෝල්ට් එකෙන් බස් එකට නැග්ග කෙල්ලෙක් ගැන මුගේ මීටරේ කැරකුනාලු.. හප්පටසිරි.. මේ අපිත් එක්ක එක වසරේදී ඉස්කෝලේ ගිය කෙල්ලෙක්නේ.. දැන් නම් කොන්ඩේ එහෙම දිගට වවලා, පට්ට ගති.. පෙනුමෙන් නම් කොල්ලෙක් එහෙමත් නැති වෙන්න විදියක් නෑ.. ඊටත් ටික වෙලාවකට පස්සේ තමයි මීටර් වුනේ මේකත් රසියගේ අන්තප්පුරේ හිටපු බිසවක් නොවැ කියලා.. රසියගේ අන්තප්පුරේට දවසින් දවස අන්ගනාවෝ ලිස්ට් වෙන හින්දා එකියකගේ නමක් මතක තියාගන්නවා කියන්නෙත් ලේසි පහසු දෙයක් නෙවෙයිනේ..

දැන් නිකන් මොන්ගලයෙක් වගේ පෙනුමක් තිබ්බට ඒ කාලේ රසියා ඇවිල්ලා හෙන හැන්ඩියාලු.. ඒ කාලේ කිව්වට ඉතින් ඉස්කෝලේ එකේ දෙකේදී වගේ තමයි ඇ.. (දැන් ඉතින් ගෑනුළමයි එහෙම පොටෝ ඉල්ලගෙන එන්න එපා.. මන් බදින්නේ අපේ අම්මා හොයලා දෙන කෙනාව විතරයි  ) ඉතින් කොහොමහරි රසියට ඉස්සෙල්ලම කෙල්ලෙක් ගැන ලවු එකක් ඇති වුනේ එක වසරේදී හෝ දෙක වසරේදී.. හරියටම පන්තිය මතක නෑ, යකාගේ කම්මල වගේ හැමදාම ඔලුව අවුල් කරගෙන වැඩ කරන එකේ ඕවයේ දින වකවානු හරියටම මතක තිබ්බොත්නේ පුදුමේ.. කොහොමහරි මේ රසියගේ හිත කුලුදුලේම හොරකන්කරගනිපු ගෑනු ළමයත් ඇවිල්ලා හැඩකාරියෙක්ලු.. එයා සුදුයි.. පුළුන් බෝලයක් වගේ මහත කෙල්ලෙක්.. සුදු කිව්වට අල්ල එහෙම රෝස පාටයි.. (දැන් අහන්න එපා තව මොනවද රෝස පාට කියලා.. එහෙම වුනොත් කතාවේ ඉතුරු ටික ලියන්න වෙන්නේ දෑත් ශක්තිමත් කරගෙන අහවරවෙලා..) මේකි හිතාවෙනකොට මූණ වල ගැහෙනවා, හොදම වැඩේ කියන්නේ මේකිට ලස්සන නළ දතකුත් තියෙනවා..  ඉතින් හිතාගනින්කෝ ඒ වගේ කෙල්ලෙක් හිනාවෙනකොට මොන වගේද කියලා.. ආයේ ඉතින් ජීවිතේම මල් තමයි ඇ.. ආ කියන්න අමතක වුනානේ..  ඒ ගෑනු ළමයට අපි නම තියමු ‘නුවන්දි’ කියලා..

ඒ කාලේ රසියගේ අම්මා ඇග හැදෙන්න හොදට හබුන් කන්න ඕන කියලා ඉස්කෝලේ යනකොටත් තඩි බත් ගෙඩියක් කෑම පෙට්ටියට දාලා දෙනවා.. ඉතින් රසියත් දවසක් නෑර කිඹුලා කිරි මැටි ගිලින්න වගේ ඉස්කෝලෙ ගිහිල්ලා ඒක තමයි කන්නේ(උබලට කිව්වට මොකද, මගේ සහතික ෆයිල් එකේ තාම ඇති පහ වසරට යනකන් හැමදාම බත් ගෙනිච්චට ඉස්කෝලෙන් ලැබුණු සහතිකෙත්.. දැන් ඒවා දකිද්දී ලැජ්ජාවේ බෑ අයිසේ.  ) ඒ කාලේ ඉතින් ගෑනු පිරිමි කියලා වෙනසක් තියෙනවා කියලවත් අපි දන්න එකක්යෑ.. දවසක් මේකි ඉන්ටවල් එකේ වාඩිවෙලා කෑම කෑවේ රසියාගේ එහා පැත්තේ.. මොකහරි හේතුවක් හින්දා ඒකි එදා අරගෙන ඇවිල්ලා තිබ්බේ සීනි කුරුල්ලෝ, එක සීනි කුරුල්ලෙක් නෙමෙයි, දෙන්නෙක්ම..  මේකිට කාගන්න බැරි නිසා මගෙන් ඇහුවා ඔයාටත් සීනි කුරුල්ලෙක් ඕනද කියලා .. (දැන් තොපි හිනාවෙයවූ.. පොඩි කාලේ එහෙම තමයි යකුනේ.. තේරෙන්නේ නෑ මොන මලමකබාවක්වත්.. ඒ කාලේ අපි කෙල්ලෝ එක්ක කතා කරපුවා රෙකෝඩ් කරලා දැන් අහන්න දුන්නොත් වහ ටිකක් කාලා ගගේ පනින්න හිතේවි  ) ඉතින් කොහොමහරි එදා ඉදන් මේකි තමයි මගේ හොදම යාලුවා.. සොරි, යාලුවා නෙමෙයි යෙහෙළිය..

ඒ කාලේ රසියගේ තාත්තත් හැමදාම ගෙදර එන රැකියාවක් නෙමෙයි කරේ.. දකින්න වෙන්නේත් සතියට සැරයයි.. ඒ නිසාමද දන්නෑ, තාත්තත් එක්ක රසියා හරි යාලුයි.. ඉතින් තාත්තා ඉරිදා හවස ආයෙත් වැඩට යන්න කලින් හැම සතියෙම වගේ පොඩිගානක් කොල්ලක්ගේ අතට දීලා යනවා(දෙන්නේ නම් හැමදාම ඉස්කෝලේ යන්න කියලා පොරොන්දු කරගෙන) ඉතින් රසියගේ කරන්නේ ඒ කාසි ටික අරගෙන ගිහිං හැමදාම ඉස්කෝලේ ඉවරවුනාට පස්සේ නුවන්දිට අයිස් පලං අරන් දෙක එක.. අයිස් පලං කියන්නේ අර ඉරට්ටක ගහලා දෙන හිච්චන්කිතර පොඩි අයිස් කෑල්ලට.. ඒ කාලේ ඉස්කෝලේ ඉස්සරහා තිබ්බ කළු නැන්දගේ කඩේ අයිස් පලමක් රුපියල් දෙකයි..

ඒ විතරක් නෙමෙයි, දැන් අපේ යාළුකම දවසින් දවස අර මොකක්ද මෙව්වා එක වගේ වැඩිවීගෙන එනවා.. සමහර දවසට ඉස්කෝලෙදි රසියාගේ පොතේ ලියන්නේ ඒකි, ඒකිගේ පොතේ ලියන්නේ රසියා.. දෙන්නගේ අකුරුත් ඉතින් අහසට පොලොව වගේනේ.. ගෙදර ගියාම අම්මා පොත් බැලුවම කියන්නේ වතුර බොන්න එලියට ගිය අතරේ යාලුවෙක් මගේ පොතේ ලියලා කියලා.. හැමදාම ඉතින් ඔහොම වෙනකොට ගෙවල්වලිනුත් අපි දෙන්නගේ ප්‍රේම සම්බන්දෙ ගැන කොහොමින් කොහොමහරි දැනගත්තලු..

ඒ කාලේ ඉතින් හෑන් පෝන් එහෙම තිබ්බෙත් නෑ නොවැ මල් කඩන්න.. රසියා ඉස්කෝලේ නොගිය දවසට නුවන්දිගේ ගෙදර පෝන් එකට කතා කරලා ගෙදර වැඩ අහනවාලු, නුවන්දි ඉස්කෝලේ ආවේ නැති රසියගේ ගෙදරට කෝල් කරලා ඒකි ගෙදර වැඩ අහනවලු.. ඒ නැතත් එහෙම දවස්වලට රසියා නුවන්දිගේ ගෙදරට කෝල් කරලා ගෙදර වැඩ ටික කියනවාලු නුවන්දිට අමතක වුනොත් කියලා.. ඔන්න ඔහොමලු ඉතින් ඒ කාලෙත් වුනේ..

ඒ කාලේ රසියා කොච්චර මී හරකෙක්ද කිව්වොත් රසියගේ පන්තියේ කොල්ලෝ දහ දොළොස්දෙනා එකතුවෙලා බෝල ගහනවා.. මූ ගොනා වගේ නුවන්දිටත් බෝල ගහන්න එන්න කතා කරා කියපන්කො.. ඒ කාලේ දෙන්නම තකට තක හින්දා ඉතින් නුවන්දිත් ඒකිගේ යාළුවො සෙට් ඒකත් එක්කගෙනම එනවා කොල්ලොත් එක්ක බෝල ගහන්න.. ඊට පස්සේ ඉතින් දෙන්නට ඉන්ටර්වල් එකෙන් පස්සේ කතා කරන්න ගොඩක් දේවල් එහෙම තිබ්බා.. දවසක් ඉන්ටර්වල් එකේ බෙල් එක ගැහුවට පස්සේ මෙකි පස්සෙන් පන්නගෙන ගිහිල්ලා තාප්පෙකට තියලා බදාගෙන උම්මා දීපු සිද්ධියකුත් ලාවට වගේ මතක තියේ.. (ඒවා විතරයි සොඳුරු පාසල් මතක කියලා මැරෙනකොට අරන්යන්නවත් ඉතුරුවෙලා තියෙන්නේ  ) කොහොමහරි දවසින් දවස ගෙවිලා යනකොට මේකි පිරිමි ළමයිත් එක්ක සෙල්ලම් කරන්න එන්න අකමැති වුනා.. අනිත් කොල්ලොත් දැන් ඔන්න මේකි එක්ක ෆිට් මේකි බෝල ගහන්න ආපු නිසා..  ටික ටික උන් නුවන්දිට ලං වෙනවා වැඩියි, කරගත්තු මෝඩකමක් කියලා රසියාට තේරෙන්න පටන්ගත්තා.. ඉස්සර රසියා එක්ක අයිස් පාලං කාපු ඒකි දැන් වෙන ඇටිකිච්චොත් එක්ක හිනා වෙවී අයිස් පාලං කනකොට එහෙම මොන යකාටද බලාගෙන ඉන්න පුළුවන්..  මූත් ඉවසලා ඉවසලා අද නම් නුවන්දි එක්ක අපි දෙන්නගේ මගුල ගැන කතා කරනවා කියලා හිතාගෙන ඒ ගැන අහන්න පියවර ගත්තලු..
දැන් ඔන්න ඉතින් එදා වෙනදට කලින් ඉස්කෝලෙට ගිහිල්ලා මේකි එනකන් රසියා බලාගෙන ඉන්නවලු.. මේකිත් ඉතින් ඒ කාලේ වේලාසනින් ඉස්කෝලෙට එනවා යාළුවො එක්ක කතා කර කර ඉන්න.. දැන් තමයි පුතෝ ගේම් එක.. නුවන්දි කොස්ස අරගෙන පන්තිය අතුගාන්න සෙට් වෙන වෙලාව බලලා, රසියා දෛර්ය අරගෙන මේකිව ඇදගෙන ගියාලු ඉස්කෝලේ ටොයිලට් තියෙන පැත්තට.. මේකිට ඒත් නෑලු ගානක්වත් .. ඒකිත් ඉතින් ෆ්‍රෙන්ඩ්ෂිප්එකට වෙනදා වගේ කෑගගහා එනවලු රසියගේ පස්සෙන්.. ඊට පස්සේ රසියා චිත්‍රපටිවලින් එකතු කරගත්තු වචන කෑලි ටිකක් එහෙම දාලා රෑ පුරා පාඩම් කරගත්තු වාක්‍ය ටික මන්තරේ වගේ කියනවලු..

“මේ හලෝ නුවන්දි, අපි දෙන්නගේ මගුල් ගේ ලබන මාසේ තියමුද. ඔයාගේ තාත්තට සල්ලි එහෙමත් තියන නිසා අපි දෙන්නගේ මගුල් ගේ හදන්න එයාගෙන් සල්ලි ඉල්ලගන්න පුළුවන් නේද……..”

කියලා හෑල්ලක් කියාගෙන යනවලු.. මේ මුළු සීන් එකේම නුවන්දිගේ රිඇක්ෂන් එක ඇගිල්ල කටේ ගහගෙන ඇස් ගෙඩි දෙක දෙහි ගෙඩි වගේ කරගෙන බලාගෙන ඉන්නෙකලු..

අන්තිමට ඉතින් මේකිත් හා කිව්වලු .. ඊට පස්සේ මම අපේ ගෙදර ඇවිල්ලා මගුල් ගෙදර තියන්න අවසර ඉල්ලලා, මේකිත් ගෙදර ගිහින් තාත්තාගෙන් සල්ලි ඉල්ලලා.. ඊට පස්සෙන්දාම අපි දෙන්නගේ ගෙවල්වලින් ගෙන්නලා ලොකු දේශනාවක් එහෙම දුන්නලු අපි දෙන්නට, ඔව් අපේ ටීච තමයි..

එදායින් පස්සේ එයා මාත් එක්ක කතා කරන්න ආවේ නෑ, මටත් ඉතින් ලැජ්ජයි එයාගේ තාත්තා ඉස්සරහා මම බැනුන්අහපු නිසා.. ඒ නිසා මම කතා කරන්න ගියෙත් නෑ ආයේ, ඔන්න ඔහොම තමයි රසියාගෙයි නුවන්දිගෙයි කුලුදුල් ප්‍රේම මෙව්වා එක ඉවරවුනේ..  මට මතක විදියට මේකි පහ වසරේ අන්තිම දවසේ කොන්සට් එකේදී නම් මාත් එක්ක නටන්න ආවා.. ඒත් ඒකිමද කියලා මතක නෑ.. කොහොමහරි පහ වසරට පස්සේ නම් ඒකිව ආයේ දකින්න ලැබුනෙම නෑ.. අද තමයි දැක්කේ..

ඕක තමයි ඉතින් රසියගේ පලවෙනි ලවු එකේ කතන්දරේ.. පලවෙනි ලවු එක කිව්වට, මෙච්චර කාලෙකට තිබ්බ ලවුවලින් සාර්ථකම එක කිව්වත් ඒහැටි වරදක් නෑ..

Rashan Hasaranga

Posted on 20th July 2018
102 views